Monday 25th of May 2026

English Tamil
Advertiesment


ශ්‍රී ලංකාව අන්තර් ජාතික පාර්ලිමේන්තු සංගමය පිළි ගන්නවා ද නැද්ද..?


2022-01-05 14892

 

කතානායකවරයා රටට කිව යුතුයි 

 

එම සංගමය පිළි ගන්නේ නම් රන්ජන් රාමනායක වහාම නිදහස් කරනු 

 

අන්තර් ජාතික පාර්ලිමේන්තු සංගමයේ නිර්දේශය ගැන විපක්ෂයත් නිහඬයි 

 

 
(සුජිත් මංගල ද සිල්වා) 

 

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අන්තර් ජාතික පාර්ලිමේන්තු සංගමය, එහි නිර්දේශ සහ තීන්දු තීරණ පිළි ගන්නවා ද, නැද්ද යන්න පිළිබඳව කතානායකවරයා රටට-ජනතාවට පැහැදිලි ප්‍රකාශයක් කළ යුතු යැයි සාධාරණ සමාජයක් සඳහා වන නීතිඥයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ නාමල් රාජපක්ෂ මහතා කියා සිටියි.

අන්තර් ජාතික පාර්ලිමේන්තු සංගමය විශේෂ ප්‍රකාශයක් කරමින් රන්ජන් රාමනායක මහතාට නිදහස ලබා දෙන ලෙස ඉල්ලා තිබෙන නමුත් ශ්‍රී ලනකාවේ කතානායකවරයා ඒ ගැන කිසිදු පැහැදිලි කිරීමක් කර නොමැති අතර විපක්ෂය ද ඒ සම්බන්ධයෙන් හඬ නොනැගීම කණගාටුවට කරුණක් යැයි ද හෙතම පෙන්වා දුන්නේය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මගින් කොළඹ දී සංවිධානය කෙරුණු ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් මේ බව අවධාරණය කර සිටී නීතීඥ නාමල් රාජපක්ෂ මහතා එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් මෙසේ ද පැවැසීය.

රටේ ව්‍යවස්ථාදායකය හෙවත් පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාවට අදාළව අන්තර් ජාතික පාර්ලිමේන්තු සංගමය මඟින් ලබාදී ඇති නිර්දේශ සහ සිදු කර ඇති ඉල්ලීම ගැන නිහඩයි. අන්තර් ජාතික පාර්ලිමේන්තු සංගමය විශේෂ ප්‍රකාශයක් කරමින් රන්ජන් රාමනායක මහතාට නිදහස ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා. මේ රටේ පාර්ලමේන්තුවක් තිබෙනවා නම් අන්තර් ජාතික පාර්ලිමේන්තු සංගමයේ එම නිවේදනය ගැන කතානායකවරයා විසින් පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතු වෙනවා. නමුත් කතානායකවරයා තබා විපක්ෂයවත් ඒ ගැන අවධානයක් යොමු කරලා නැහැ. ඒක කණගාටුවට කරුණක්. 

රන්ජන් රාමනායක කියන්නේ හොරෙක්වත් දූෂිතයෙක්වත් මිනී මරුවෙක්වත් නෙමෙයි. ඔහු නිර්භීතව ජනතාව වෙනුවෙන් අදහස් දැක්වූ අයෙක්. ඔහුගේ ඇතැම් ප්‍රකාශ අනුව අධිකරණයටද අපහාසයක් වෙලා තියෙනවා. නමුත් අධිකරණ අපහාසයට අදාළව ශ්‍රී ලංකාව ඇතුළත පැහැදිලි නිර්නායක දකින්නට නොමැති තත්ත්වයක් තිබෙනවා. ඒ අනුව සහ විශේෂයෙන්ම භාෂණයේ නිදහස පිළි ගන්නා නූතන දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ලෝකයක අධිකරණ අපහාසයට අදාළව අද ක්‍රියා කරන ආකාරය අනුව රන්ජන් රාමනායක මහතාට බරපතළ අසාධාරණයක් සිදු වෙලා තිබෙනවා. 

මේ රටේ ප්‍රමුඛ ආයතන ගණනාවක්ම එකතු වෙලා ඔහු බිල්ලට දී තියෙනවා ඒ නිසා අන්තර් ජාතික පාර්ලිමේන්තු සංගමයටවත් අපේ පාර්ලිමේන්තුව ඇහුම්කන් දිය යුතු වෙනවා. සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය මේ ගැන වාර කිහිපයකදීම ඉල්ලීම්කර තිබෙනවා. ජනාධිපතිවරයාගෙන්ද ඒ ගැන විශේෂ ඉල්ලීම්කර තිබෙනවා. ඒ නිසා අප නැවත නැවත් ඉල්ලා සිටින්නේ රන්ජන් රාමනායක මහතා සිර ගත කර වසරක් සම්පූර්ණ වන ජනවාරි 21 වන දින හෝ ඊට පෙර හෝ ඔහු නිදහස් කරන ලෙසයි.

ඒ වගේම මේ රටේ නැති නීති පෙන්වා ජනතාව බිය වද්දන්නට ඇතැම් අය කටයුතු කරන බවක් පේනවා. සමාජ මාධ්‍ය ඔස්සේ ජනාධිපතිවරයාට අපහාස වන ආකාරයට අදහස් දැක්වීම හෝ එවැනි අදහස් දැක්වීම් හුවමාරු කිරීම අත්අඩංගුවට ගැනීමට හේතුවක් වන බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සිදු කර ඇති අනතුරු ඇගවීමද එවැන්නක්. ඒ මගින් සිදු කර ඇත්තේ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් බිය ගැන්වීමට කටයුතු කිරීමයි. 

අප පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයාගෙන් විමසා සිටින්නේ ජනාධිපතිට අපහාස කිරීමක් ලෙස ඔහු අදහස් කරන්නේ කුමක් ද කියන එක පැහැදිලි කරන ලෙසයි. ඒ සදහා දැක් විය හැකි නිර්ණායක මොනවාද, ඒ වගේම සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන අදහස් දැක්වීමක් ජනාධිපතිවරයාට අපහාසයක් ලෙස සලකා අත්අඩංගොඩ ගැනීමට පොලීසියට බලය ලබාදී ඇත්තේ කුමන නීතියකින් ද යන්න පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රටට පැහැදිලි කළ යුතුයි. එසේ නොමැතිව පොලීසිය අත්තනෝමතිකව කටයුතු කළ හොත් අප ඊට එරෙහිව දැඩි ලෙස පෙනී සිටිනවා. එපමණක් නොව එමගින් අගතියට පත්වන පාර්ශවයන්ට නීතිඥවරුන් ලෙස උපරිම අන්දමින් පෙනී සිටිනවා.  
 

Advertiesment